ඇමෙරිකානු රජයේ අපනයන පාලන නියෝගයක් හේතුවෙන් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය නිර්මාණය කරන ‘ඇන්ත්‍රොපික්’ (Anthropic) සමාගම ගෙන ඇති තීරණයේ ප්‍රායෝගික බලපෑම් පිළිබඳව යුරෝපා කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලු පදනම් කරගනිමින්, ඇමෙරිකානු රජය විසින් ලබා දුන් නියෝගයකට අනුව විදේශීය පුරවැසියන්ට තම දියුණුම AI මාදිලි සඳහා ප්‍රවේශය අත්හිටුවීමට ඇන්ත්‍රොපික් සමාගම පසුගිය සිකුරාදා කටයුතු කළේය.
යුරෝපා කොමිසමේ ප්‍රකාශක තෝමස් රෙග්නියර් මහතා පවසන්නේ, නව පරපුරේ AI මාදිලි සයිබර් ආරක්ෂාව වැනි අංශ සඳහා විශාල ප්‍රතිලාභ ලබා දුන්නද, ඒවා මගින් බරපතල සයිබර් ආරක්ෂණ ගැටලු ද මතු වන බවයි. කෙසේ වෙතත්, එවැනි හදිසි පියවරයන් හවුල්කරුවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම් සහගත නොවිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
“මෙම සිදුවීම මගින් යුරෝපය සිය තාක්ෂණික ස්වෛරීභාවය ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව තවදුරටත් තහවුරු කරනවා,” යනුවෙන් ප්‍රකාශකයා සඳහන් කළේය. මෙම තීරණය හේතුවෙන් එම සේවාවන් භාවිතා කරන යුරෝපීය පරිශීලකයන්ට ඇති විය හැකි බලපෑම් පිළිබඳව යුරෝපා කොමිසම ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටී.
















