2025 වසර තුළ යුරෝපා රටවල් රැසක නිවාස කුලී මිල (Rents) ඉලක්කම් දෙකේ අගයකින් ඉහළ ගොස් ඇති අතර, එහිදී තුර්කිය 78% ක අතිවිශාල වැඩිවීමක් වාර්තා කරමින් ලැයිස්තුවේ පෙරමුණේ පසුවේ. යුරෝපා සංගමයේ (EU) සාමාන්‍ය කුලී මිල 3.1% කින් ඉහළ ගොස් ඇති අතර, සැපයුමට වඩා ඉල්ලුම වේගයෙන් ඉහළ යාම මෙලෙස මිල ගණන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව විචාරකයෝ පවසති.
යුරෝපීය පවුලක සාමාන්‍ය ආදායමෙන් පහෙන් එකක් නිවාස සඳහා වැය වන අතර, ග්‍රීසිය වැනි රටවල එය ආදායමෙන් 35% ක් තරම් ඉහළ අගයක් ගන්නා බව යුරෝස්ටැට් (Eurostat) දත්ත පෙන්වා දෙයි. බැංකු ණය පොලී අනුපාත ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් නිවාස මිලදී ගැනීමට වඩා කුලී පදනම මත පදිංචි වීමට මිනිසුන් පෙළඹී තිබීම ද මෙම ඉල්ලුම ඉහළ යාමට හේතු වී තිබේ. විශේෂයෙන්ම ප්‍රථම වරට නිවාස සොයන පිරිස් (First-time buyers) මේ හරහා දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටිති.














