27 April 2024
#දේශීය

පෞද්ගලික අහිමිවීම් තිබුණත් එජාප ප‍්‍රතිසංවිධානය සාර්ථකයි – පාලිත රංගේ කියයි

පෞද්ගලිකව යම් යම් දේ අහිමි වුවද එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙල සාර්ථකව සිදු වෙමින් තිබෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පුත්තලම, ඉගිනිමිටිය ප‍්‍රදේශයේ පැවැත්වෙන දියවර නෑයෝ වැඩසටහන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පසුගිය 08 දා ආරම්භ වූ මෙම වැසටහන අවසන් වන්නේ ලබන 30 දායි. සමස්ථ ඉගිනිමිටිය ගොවිජනපද ව්‍යාපාරයේ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමත්, ජනතාවගේ ගැටළු විසදීමත් ව්‍යාපෘතියේ අරමුණයි. මේ වෙනුවෙන් යන්ත‍්‍ර සූත‍්‍ර 150 ක් පමණ යොදවමින් රුපියල් මිලියන 17 ක මුදලක් ද වැය කිරීමට නියමිතයි. කෙසේ වෙතත් නිමි ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් මිලියන 100 ක් පමණ වන බව වාරිමාර්ග අමාත්‍යංශය පවසයි. ශ‍්‍රම දායකත්වය මත සියළු ව්‍යාපෘති ක්‍රියාවට නැගීම මෙයට හේතුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර අමාත්‍ය ” මහජනතාවට වෙච්ච පීඩාවලට සහන සලසන ක‍්‍රමවේද සකස් කළ හැකි කණ්ඩායමකට පක්‍ෂයේ වැඩකටයුතු බාර දෙන්න කියන කාරණයි අපේ ප‍්‍රධාන ඉල්ලීම වුණේ. එසේ වුවහොත් තමයි පූර්ණ ප‍්‍රතිසංවිධානයක් ලෙස සලකන්න පුළුවන් වන්නේ. දේශපාලන පලිගැනීම්වලට ලක්වෙච්ච මිනිස්සුන්ට 1994 සිටම ඒ පීඩනය භුක්ති විදිනවා හැරෙන්නට ඒ අයට ලැබිය යුතු සහන ලැබුනේ නෑ. මේ ගැන කතා කළ පසුව හඩ නැගීමෙන් පසුව අපට පෞද්ගලිකව බොහෝ දේ අහිමි වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන. ඒත් අපට නොලැබුණා කියල ගැටළුවක් නෑ ජනතාවට අවශ්‍ය දේ ලැබෙනවනම්. මේ වෙද්දි ජනතාවට ලැබිය යුතු දේ ලබා දෙන්න පියවර අරන් තියෙනවා. දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සහන ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාව අනුමත කරල තිබෙනවා.

ඒ වගේම තරුණ පිරිසට රැකියා අවස්ථා ලබා දිය යුතු බවටත් අපි සටන් කළා. දැන් ඒ සඳහා සුදුසු අවකාශ හැදිල තියෙනවා. බිම් මට්මමේ ගමට දැනෙන සංවර්ධන කටයුතු සිදු කළ යුතු බවට අපි සටන් කළා. ගම්පෙරළිය වැනි වැඩසටහන් තුළින් එම කටයුත්ත කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. පක්‍ෂයේ නායකත්වය පමණක් නෙමෙයි අපි තවත් බොහෝ දේ ගැන කතා කළා. අපි කතා කළ කාරණාවලින් සියයට සියයම ඉටු නොවුනත්, සතුටට පත්විය හැකි තරමින් සියයට හැට පහ ඉක්මවූ ප‍්‍රමාණයක් මේ වෙද්දි ඉටු වෙලා තිබෙනවා. එය ක්‍රෙඩිට් පාස් එකකට සමාන කොටසක්. ඒ නිසා අපි බලාපොරොත්තු අතහැර දැමිය යුතු නෑ. අපිට අවශ්‍ය වන්නේ ජනතාවයි රටයි පමණයි. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *