27 April 2024
#දේශීය

රටට ණය නැති අභිමානවත් රාජ්‍ය සේවකයෙකු වීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතුයි – අධිකරණ අමාත්‍යාංශ ලේකම්

රාජ්‍ය සේවය යනු ගෞරවණීය සේවයක් වන බැවින් රටට ණය නැති රාජ්‍ය සේවකයෙකු වීමට වග බලා ගත යුතු බවත් අභිමානවත් රාජ්‍ය සේවකයෙකු වීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (08) දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි සමථ මණ්ඩල කොමිෂන් සභාව සදහා උපාධිධාරී සංවර්ධන නිලධාරීන් (සමථ) 154 දෙනෙකු බදවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

නඩු ප්‍රමාදය අවම කරමින් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සදහා ගරු අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විධිමත් වැඩ පිළිවෙළක් දියත් කර ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරි වසර තුන තුළ අධිකරණ ක්ෂේත්‍රය තුළ සාධනීය වෙනසක් සිදු වන බවත් ලේකම්වරයා පැවසීය.

මෙම වසර තුළදී පමණක් නව අධිකරණ ශාලා 66 ක් ඉදි කිරීමට මෙන්ම ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් ඉදිරි වසර හතර තුළ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සදහා කටයුතු කර ඇති බවත් සදහන් කළේය.

ඇතැම් නීති වසර ගණනාවක් පුරා සංශෝධනය වී නොමැති වීම නඩු කල් යාමට ප්‍රධාන හේතුවක් බැවින් ඒවා සුදුසු පරිදි වෙනස් කිරීම සදහා අධිකරණ අමාත්‍යතුමාගේ උපදෙස් අනුව කමිටු කිහිපයක් ක්‍රියාත්මක වන බැවින් ඒවායේ නිර්දේශ ලැබුනු පසු අවශ්‍ය කටයුතු සිදු කරනු ලබන බවත් අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේය.

ඉඩම් හා මුල්‍ය ආරවුල් විසදීම සදහා විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට මෙන්ම සමථ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමටත් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බැවින් ඒ සදහා නව සමථ නිලධාරීන් කැපවී කටයුතු කළ යුතුව ඇති බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

රාජ්‍ය සේවය යනු ගෞරවණීය සේවයක් වන බැවින් රටට ණය නැති රාජ්‍ය සේවකයෙකු වීමට වග බලා ගත යුතු බවත් අභිමානවත් රාජ්‍ය සේවකයෙකු වීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවත් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *