සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලින්ත පෙරේරා හෙවත් ‘කොමන්ඩෝ සලින්ත’ නමැත්තාට පිස්තෝල උණ්ඩ 350ක් ලබාදුන් බව කියන හිටපු හමුදා සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාවලපිටිය, පුස්සේමංකඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වූ ‘කොමන්ඩෝ සලින්ත’ මීට පෙර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබීය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම හිටපු සෙබළා විසින් ‘නයින් එම්.එම්.’ (9mm) වර්ගයේ පතරොම් තොගයක් අපරාධකරුවන් වෙත ලබාදී ඇති බව තහවුරු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














