සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (29) පස්වරුවේ බඹරකන්ද සහ ලංකා ඇල්ල නැරඹීමට ගොස් සිටියදී හදිසියේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අනතුරකට මුහුණ දී තිබේ. දියඇල්ලේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යාම නිසා කණ්ඩායමේ සිටි සිසුන් තිදෙනෙකු පමණක් නිරුපද්‍රිතව බේරී පැමිණ ඇති අතර, අනෙක් සිසුන් තිදෙනා වනාන්තරය තුළ අතරමං වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය වාර්තා කරයි.
අතරමං වූ සිසුන් සොයා මේ වන විටත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන නමුත්, ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණය හේතුවෙන් එම කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරී රුවන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත හල්දුම්මුල්ල පොලිසිය සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි.














