2025 (2026) වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අදට (08) යෙදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පසුගිය ජූනි 25 වැනිදා ආරම්භ වූ මෙම අයදුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් යන දෙපාර්ශ්වයටම අදාළ වේ. අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ‘Our Services’ යටතේ ඇති ‘Exam Information Centre’ හරහා සිය අයදුම්පත් මාර්ගගතව (Online) ඉදිරිපත් කළ යුතුය. වෙනත් කිසිදු ක්‍රමයකින් ඉදිරිපත් කරන අයදුම්පත් භාරගනු නොලැබේ.
අයදුම් කිරීමේදී අදාළ තාක්ෂණික සහ සාමාන්‍ය උපදෙස් මාලාව කියවා උපදෙස් ලබා දෙන වීඩියෝව නැරඹීමෙන් පසු අයදුම්පත සම්පූර්ණ කරන ලෙස දෙපාර්තමේන්තුව සිසුන්ව දැනුවත් කරයි.
එක් විෂයකක් සඳහා අයදුම් කිරීමේ ගාස්තුව රුපියල් 200ක් ලෙස නියම කර ඇති අතර, එය ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් හෝ තැපැල් කාර්යාලයක් හරහා ගෙවිය හැකිය. ගෙවීමෙන් පසු අයදුම්පතෙහි PDF පිටපතක් බාගත කර තබා ගැනීමටත්, අයදුම්පත සාර්ථකව භාරදුන් පසු ලැබෙන කෙටි පණිවිඩය (SMS) තහවුරු කර ගැනීමටත් කටයුතු කළ යුතුය.
එක් අයදුම්කරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් මාර්ගගත අයදුම්පතක් පමණක් වන අතර, නැවත සමීක්ෂණය සඳහා ගෙවන ලද ගාස්තු ආපසු ගෙවනු නොලැබේ. වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 278 5231 යන දුරකථන අංකවලට ඇමතිය හැකිය.
















