හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමන් ගත් වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකානු හමුදාව විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ, ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල අද (08) අලුයම 3%කට ආසන්න අගයකින් ඉහළ ගියේය.
ඇමෙරිකානු බටහිර ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.95කින් එනම් 2.8%කින් ඉහළ ගොස් ඇත්තේ බැරලයක මිල ඩොලර් 72.39ක් ලෙස සනිටුහන් කරමිනි.
ඉරානය විසින් වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇමෙරිකාව විසින් ඉරාන බොරතෙල් විකිණීම සඳහා ලබා දී තිබූ බලපත්‍රය අවලංගු කිරීම තෙල් මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
ප්‍රහාරයට ලක්වූ කටාර් රාජ්‍යයට අයත් අල්-රෙකයාත් එල්එන්ජී නෞකාවේ එන්ජින් කාමරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් ගින්නක් හටගෙන ඇති අතර, කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කර ඇත. ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සෞදි අරාබියට අයත් වැඩියන් නම් සුපිරි තෙල් නෞකාව ද හානිවලට ලක්ව ඇති බව සමුද්‍රීය ආරක්ෂක මූලාශ්‍ර පවසයි.
මෙම සිදුවීම් මාලාවත් සමඟ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නෞකා ගමනාගමනයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බවටත්, දෙරට අතර පැවති බිඳෙනසුලු සටන් විරාම ගිවිසුම අසාර්ථක වෙමින් පවතින බවටත් වෙළඳපොළ විශේෂඥයෝ අනතුරු අඟවති.
















