වෙසක් පොහොය දිනයන්හිදී දිවයින පුරා සියලුම සුරාසල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කර තිබියදී, නීතිවිරෝධී ලෙස මත්පැන් ජාවාරමේ නිරත වූ සැකකරුවන් 25 දෙනෙකු දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අහංගම, හික්කඩුව, හිරිකැටිය සහ මිරිස්ස යන ප්‍රදේශවල සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් මත්පැන් තොගයක් ද සොයාගෙන තිබේ.
මෙම වැටලීම්වලදී නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් 8 දෙනෙකු සහ බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු අලෙවි කළ ආපනශාලා 17ක් සුරාබදු නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවිය. මීට අමතරව, මාතර හිරිකැටිය සංචාරක කලාපයේ වෙරළාසන්න ආපනශාලාවක පැවති සමාජ සාදයක් වටලා විදේශීය මත්පැන් තොගයක් සමඟ එහි කළමනාකරු ද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් පියවර ගත්තේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 25 දෙනා සුරාබදු ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන් ඉදිරියේදී මාතර, ගාල්ල සහ බලපිටිය යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. උත්සව කාලසීමාවන් තුළ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් මැඩලීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් පවතී.
















