මෙරට වී වේලීම, ගබඩා කිරීම ඇතුළු කෘෂිකාර්මික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා මේ වසරේදී රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ නවීන යන්ත්‍රෝපකරණ ප්‍රධාන වශයෙන් උතුරු සහ දකුණු පළාත්වල ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පහත දැක්වේ.
සමුපකාර සමිතිවලට වී වේලන යන්ත්‍ර ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක ව්‍යාපෘතියක් සහ නිෂ්පාදන සමුපකාර සඳහා අවශ්‍ය ඇසුරුම් සහ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.
වී සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියට මෙන්ම අල මිලදී ගැනීමේ කටයුතු සඳහා ද සමුපකාර තොග වෙළඳ සංස්ථාව මේ වන විට සක්‍රීයව මැදිහත් වී ඇත. ඒ අනුව, අල කිලෝවක් රුපියල් 220ක මිලකට මිලදී ගෙන ලංකා සතොස ආයතනය හරහා පාරිභෝගිකයින් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම, සම්බා සහ කීරි සම්බා සහල් සඳහා ආදේශක සහල් හඳුන්වා දීමට ද අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
















