රජයේ ආදායම් උපයන ප්‍රධානතම ආයතනයක් වන ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව, 2026 වසරේ පළමු කාර්තුව සඳහා ලබා දී තිබූ ආදායම් ඉලක්ක අභිබවා යමින් රජයේ භාණ්ඩාගාරය ශක්තිමත් කිරීමට සමත්ව ඇති බව වාර්තා වේ.
රජය විසින් 2026 වර්ෂය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 245 ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇත. ඒ අනුව, වසරේ පළමු කාර්තුව (මාර්තු 31 දක්වා) සඳහා නියම කර තිබූ ඉලක්කය රුපියල් බිලියන 61.95 කි. එහෙත් එම කාලය තුළ රුපියල් බිලියන 70.4 ක ආදායමක් ඉපයීමට දෙපාර්තමේන්තුව සමත්ව ඇති අතර, එය ලබා දුන් ඉලක්කයට වඩා 113.6% ක ඉහළ අගයකි.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා පවසන පරිදි, මෙම සාර්ථකත්වයට මත්පැන් නිෂ්පාදනාගාර දැඩි ලෙස අධීක්ෂණය කිරීම සහ මත්පැන් බෝතල් මත ආරක්ෂිත මුද්‍රා සලකුණු (ස්ටිකර්) යෙදීම වැනි ක්‍රියාමාර්ග බෙහෙවින් ඉවහල් වී තිබේ. මීට අමතරව නීති විරෝධී මත්පැන් වැටලීම් පුළුල් කිරීම සහ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම ද මෙම ආදායම් වර්ධනයට හේතු වී ඇත.
2025 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙය 114.8% ක සැලකිය යුතු ප්‍රගතියක් වන අතර, නව රජයේ මගපෙන්වීම යටතේ නිලධාරීන්ගේ කැපවීම මෙයට විශාල දායකත්වයක් ලබා දී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.















