27 April 2024
#දේශීය

ත්‍රස්තවාදයට සේම අන්තවාදයටත් අපේ රටේ ඉඩක් නැහැ – විපක්ෂ නායක සජිත්

අප රටේ විවිධ ජාතීන් නියෝජනය කරන ආගම් අදහන පිරිස් සිටින බවත් ඒ නිසා අපි රටක් ලෙස එක්සේසත් වී එකට එකතු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ‍‍

මේ රට විනාශ කරන එකම දේ අන්තවාදය බැවින් කිසිම ජාතියක් හෝ ආගමක් හෝ ලබ්දියක් අදහන කිසිවෙක් අන්තවාදය පිළිනොපදින ලෙසත් සියලු ජාතීන්, ආගම් නියෝජනය කරන අදහන පිරිස් කිසිදු භේදයකින් තොරව එක අම්මගේ දරුවන් විලස එකමුතු විය යුතු බව හෙතෙම පැවසිය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ගාල්ල සහිරා විදුහලේ වසර 100 සැපිරීමේ උත්සවයට සභාගීවෙමිනි.

ත්‍රස්තවාදයට අප රටේ ඉඩක් නොමැති සේම අන්තවාදයට ද අප රටේ ඉඩක් නොමැති බවත් එම නිසා සියලු ජාතීන් හා ආගම් එකට එකතු වී හැම ජාතියකටම ආගමකටම අහිතකර ලෙස බලපෑම් සිදු කරන අන්තවාදය පරාජය කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය කාලයේ අන්තවාදය දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් පක්ෂ භාවිත කළ බව යි. ජනාධිපති පුටුවට යන්න තිබූ ආසාව මත ඔවුන් මුළු රටම කෑලි කෑලිවලට කඩා ජාතික සමගිය හා එකමුතු භාවය විනාශ කළ බවත් ජනපති සිහිනය වෙනුවෙන් ඔවුන් යුද ජයග්‍රහණයෙන් පසු සියලු ජාතීන් එකට එකතු වී රටක් ලෙස දියුණු වෙනවා වෙනුවට ජාතිවාදය ඇවිස්සූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

වඳ කොත්තු, වඳ සැත්කම් කිය චෝදනා කරමින් වෛද්‍ය සාෆිගේ වැඩතහනම් කළ බවත් කොවිඩ් සමයේ දී ආදාහනය භූමදානය යන ගැටලුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක පවා අමතක කොට කටයුතු කළ බවත් මේ අවස්ථාවේ එයට විරුද්ධව මහපාරට බැස හඬක් නැගුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

එමෙන් ම කිසිදු පුද්ගලයකුට ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කරන්න නොදෙන බවත් සමගි ජන බලවේග රජයක් යටතේ කුමන හෝ ජාතියක් තවත් ජාතියකටත් කුමන හෝ ආගමක් තවත් ආගමකට භේදයක් ඇති කරන සේ සළකනවා නම් හෝ කටයුතු කරනවා නම් එය සාපරාධී ක්‍රියාවක් ලෙස සලකන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජාතිවාදය නැහැ කියන පක්ෂය මේ වන විට මැක්කේ එක්ක නිදාගෙන එකට එක හොරකම් කරන බවත් පසුගිය සිකුරාදා මිනිසා ජීවත් කරවීම වෙනුවෙන් හිටගන්නවාද මිනිසුන් කනත්තට ගෙන යන්න හිටගන්නවාද කියන කියා 225ට තෝරා ගැනීමට සිදුවූ අවස්ථාවේ දී 74 දෙනකු පමණක් මිනිසුන් ජීවත් කරවීමට සිටගත් නමුත් වහල්ලු 134 දෙනකු මිනිසුන් මරා දැමීමේ පැත්තේ සිටගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *