ෆේස්බුක් (Facebook) හරහා දැන්වීම් පළ කොට කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රයක් තුළදී රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට (මිලියන 12කට) අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු තුනක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
රත්මලාන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැඟිල්ලේ ආවේශන රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් විසින් සැකකරු ගනුදෙනුවක් සිදුකරමින් සිටියදී වටලා මෙම ගජමුතු තොගය අත්අඩංගුවට ගෙන ඇත. ආර්ථික අපහසුතා හේතුවෙන් මීට වසර තුනකට පෙර මිතුරෙකුගෙන් ලබාගත් මෙම ගජමුතු අලෙවි කිරීමට උත්සාහ කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කොල්ලුපිටිය පොලිසිය වෙත භාර දී තිබේ.














