මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවීමේ මහා පරිමාණ ජාවාරමක් හේතුවෙන් රජයට අහිමි වන සමස්ත බදු ආදායම, සුවසැරිය ගිලන්රථ සේවාව වෙනුවෙන් රජය වසරකට වැය කරන මුදල මෙන් අට ගුණයකටත් වඩා වැඩි බව පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මෙම ජාවාරම සහ ඒ පිළිබඳව පවතින ගැටලු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දක්වන අදහස්වලට අනුව, මත්පැන් බෝතලයක මිලෙන් වැඩි කොටසක් රජයට බදු ලෙස ලැබිය යුතු වුවත්, මෙම ව්‍යාජ ස්ටිකර් ජාවාරම නිසා එම මුදල් සියල්ල ජාවාරම්කරුවන් අතට පත්වේ. සුවසැරිය ගිලන්රථ සේවාව පවත්වාගෙන යාමට රජය වාර්ෂිකව වැය කරන මුදල මෙන් අට ගුණයකට වැඩි දැවැන්ත මුදලක් මේ අයුරින් රජයට අහිමි වී තිබේ.
දැනට පවතින ක්‍රමවේදය යටතේ සාමාන්‍ය මුද්‍රිත ස්ටිකරයක් වෙනුවෙන් වැය කරන මුදලට සමාන මුදලක්, නව ඩිජිටල් ස්ටිකරයක් සඳහා ද රජයට වැය කිරීමට සිදුව තිබීම බරපතළ මූල්‍ය අකාර්යක්ෂමතාවක් ලෙස ඔහු පෙන්වා දෙයි. එසේම බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා අවම මට්ටමේ මූලික පරිගණක පද්ධතියක් හෝ ස්ථාපිත කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව මෙතෙක් අපොහොසත් වී තිබීම සභාපතිවරයා විසින් දැඩි ලෙස විවේචනය කරන ලදී.
රජයේ ආදායම සුරක්ෂිත කිරීම සඳහා මෙවැනි තාක්ෂණික වංචාවන් වහාම නතර කර, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීමේ අවශ්‍යතාවය මෙම කරුණු මගින් මනාව පැහැදිලි වේ.














