චීනයේ ෂැන්හයි නුවරදී පැවැත්වෙන 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවට (WAIC) සමගාමීව පැවැත්වුණු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සමුළුව අමතමින් ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන රාමුව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළේය.
දීප්තිමත් අනාගතයක් සඳහා AI හවුල්කාරිත්වය යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, AI තාක්ෂණය ගෝලීය ආර්ථිකයන් තීරණය කරමින් පවතින වටපිටාවක, එම තාක්ෂණය පාලනය කරන නීති රීති සැකසීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල හඬටද සමාන අවස්ථාවක් හිමිවිය යුතු බවයි. තීරණ ගැනීමෙන් පසුව රටවල් දැනුවත් කිරීම වෙනුවට, දකුණු අර්ධගෝලයේ රටවල් ද ඇතුළත් කරගනිමින් සහයෝගීතාවයෙන් සහ සම-කර්තෘත්වයෙන් යුතුව ගෝලීය AI නීති සකස් කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකක කාලය තුළ DIGIECON 2030 ජාතික ඩිජිටල් ආර්ථික වැඩසටහන හරහා ශක්තිමත් ඩිජිටල් පදනමක් සහ ස්වෛරී ඩිජිටල් යටිතල පහසුකම් ස්ථාපිත කර ඇති බව ද ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම ආරක්ෂිත AI සේවාවන් සඳහා පදනම වන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් අනන්‍යතා (SLUDI) වේදිකාව මේ වන විටත් ස්ථාපිත කර ඇති බවත්, නුදුරේදීම පිහිටුවීමට නියමිත ජාතික AI ආයතනය හරහා පර්යේෂණ, ආචාරධර්ම සහ ප්‍රතිපත්ති පිළිබඳ දේශීය ධාරිතාව වර්ධනය කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ගෝලීය AI පාලන ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය මෙහෙයවන මූලධර්මය වන්නේ, ජාත්‍යන්තර අන්තර්-ක්‍රියාකාරී පද්ධති සමඟ සම්බන්ධ වන අතරම රටක් ලෙස තමන්ගේම දත්ත සහ ඩිජිටල් යටිතල පහසුකම් පාලනය කිරීමේ අයිතිය සුරක්ෂිත කර ගැනීමයි. AI ආරක්ෂාව පිළිබඳ ගෝලීය නීති අර්ථවත් වීමට නම් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒවා ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණික ධාරිතාව ලබා දිය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා ඇතුළු කලාපීය රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.














