රුපියල් පහළොස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ව්‍යාජ ඇමරිකානු ඩොලර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයින් දෙදෙනෙකු උණවටුන සංචාරක පොලිස් කාර්යංශයේ නිලධාරීන් විසින් අද දහවල් ගාල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 26 සහ 27 යන වියේ පසුවන ටජකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකි. ඔවුන් සතුව තිබී ව්‍යාජ ඇමරිකානු ඩොලර් 5200ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා වාහන කුලියට ලබාදෙන ස්ථානයකට ගොස් ව්‍යාජ ඩොලර් ලබාදී යතුරුපැදි දෙකක් ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී ඇති වූ සැකය මත අදාළ ව්‍යාපාරිකයා උණවටුන සංචාරක පොලිසියට මේ පිළිබඳව දැනුම් දී තිබේ. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ගාල්ල ඩික්සන් පාරේ පිහිටි නවාතැන්පළක රැඳී සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී ව්‍යාජ ඩොලර්වලට අමතරව ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක්, තවත් විදේශීය මුදල් නෝට්ටු කිහිපයක් සහ ජංගම දුරකථන පහක් ද සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් උණවටුන සංචාරක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














