මහනුවර – යාපනය ප්‍රධාන A9 මාර්ගයේ අඹතැන්න නගරය ආසන්නයේ පිහිටි රජයේ ගොවිපළ ඉදිරිපිට මාර්ගයේ කොටසක් පිඟා ඔයට නාය යාම හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. පසුගිය අධික වැසි සමයේ සිදු වූ මෙම නාය යාම සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිසි අවධානයක් යොමු කර නොමැති බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.
දෛනිකව අධික රථ වාහන සංඛ්‍යාවක් ධාවනය වන මෙම මාර්ගයේ අදාළ ස්ථානය මේ වන විට නාය යාම හේතුවෙන් අවදානමට ලක්ව ඇතත්, රියදුරන් දැනුවත් කිරීම සඳහා අවම වශයෙන් අනතුරු ඇඟවීමේ පුවරුවක් හෝ සවිකිරීමට බලධාරීන් කටයුතු කර නොමැත. ඉදිරි වැසි සමය ආරම්භ වීමත් සමඟ මෙම නාය යාම තවදුරටත් වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතින බව පෙන්වා දෙන ජනතාව, මෙය මහා පරිමාණ අනතුරකට අත වැනීමක් බව පවසති. මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී සුදුසු ආරක්ෂිත පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටිති.














