27 April 2024
#දේශීය

විදෙස් අමාත්‍යංශයේ නිලධාරිනියකගේ පවුලේ අයෙකුටත් කොරෝනා !

විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට COVID -19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ  (14) නිල නිවේදනයක් නිකුත් කරමින් පිළිගත්තේය.

වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිසි ක්‍රියා මාර්ග ගෙන ඇති අතර වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මාධ්‍ය වෙත පවසා තිබේ.

ඒ අනුව, අදාළ නිලධාරිනිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනය කර ඇතැයිද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව පවසා ඇත.

ආරම්භක පියවරක් ලෙස,  මේ සතියේ  මුල් දිනයකදී කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේදී හා මීට සති 2 කට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිනිය හා එක්ව රාජකාරී කටයුතු කරමින්  සම්බන්ධ වූ අමාත්‍යාංශය කාර්ය මණ්ඩලයට ‘ස්වයං නිරෝධායනය’ කිරීමට උපදෙස් දී ඇත.

එසේම අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද වැඩිදුර පියවර ගෙන ඇති බවත් දන්වා තිබේ.

අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා  කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද එම අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *