ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චත්‍රපති සම්භාජිනගර් දිස්ත්‍රික්කයේ කවාඩියා කන්දෙන් (Khawadya Hill) වැටීමෙන් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම පවුලේ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඛේදවාචකය සිදුව තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ මුරලිධර් චන්දගුඩේ (48), ඔහුගේ බිරිඳ සංගීතා සහ ඔවුන්ගේ 19 හැවිරිදි කුනාල් නමැති පුත්‍රයාය.
වාර්තා වන ආකාරයට, නව ජංගම දුරකථනයක් ලබා දෙන ලෙස ඉල්ම කරමින් දෙමාපියන් සමඟ ඇති වූ බහින්බස් වීමකින් පසු උරණ වූ තරුණයා, උදෑසන කාලයේදී මෙම කඳු ගැටය මතට නැඟ ඇත. දරුවාගේ ආරක්ෂාව පිළිබඳ බියෙන් මව්පියන් ද ඔහු පසුපස කන්දට ගොස් ඇති අතර, තරුණයා බිමට බස්වා ගැනීමට ප්‍රදේශවාසීන් සහ පොලිසිය පැය තුනකට අධික කාලයක් දැඩි උත්සාහයක් ගෙන තිබේ.
කෙසේ වෙතත්, පියා තම පුතාව සනසමින් ළඟට යාමට උත්සාහ කළ අවස්ථාවේදී තරුණයා කඳු මුදුනෙන් පැන ඇති අතර, ඔහු බේරා ගැනීමට ගිය පියාද බර සමතුලිතතාවය ගිලිහී යාමෙන් පහළට වැටී ඇත. සැමියා සහ පුතා ඇස් ඉදිරිපිටම ප්‍රපාතයට වැටී මිය යනු දුටු මව, ඉන් ඇති වූ දැඩි මානසික කම්පනය නිසා ඇයද කඳු මුදුනෙන් බිමට පැන ඇතැයි පොලිසිය පවසයි.
වලුජ් MIDC පොලිසිය විසින් මෘත ශරීර පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.














