තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 550 ග්‍රාම නිලධාරී වසමට අයත් සෙම්බුකුලම වැව යටතේ මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු අක්කර 70න් අක්කර 30කට ආසන්න ප්‍රමාණයක් දැඩි කීඩෑ උවදුරකට ලක්ව ඇති බව සෙම්බුකුලම ගොවීහු පවසති.
පවතින වියළි කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙම කීඩෑ ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි ලෙස සීඝ්රයෙන් පැතිර යමින් පවතී. අස්වැන්න නෙළීමට තවත් දින හතක් අටක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදී එල්ල වූ මෙම පළිබෝධ හානිය නිසා කුඹුරු යාය පුරා ගොයම් ගස් වියැළී වී කරල් බොල් වී යමින් තිබේ. සුළඟත් සමඟ කීඩෑවන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා මෙතෙක් කාලයක් අපේක්ෂා කළ අස්වැන්න සම්පූර්ණයෙන්ම අහිමි වී යෑමේ දැඩි අවදානමකට තමන් මුහුණ දී සිටින බව ගොවීහු පෙන්වා දෙති.
පවතින කාලගුණය හමුවේ සෙම්බුකුලම වැවේ ජලය කළමනාකරණය කර වී වගාව නියඟයෙන් ආරක්ෂා කර ගත්තද, කුඹුරු යායට පැමිණ ඇති කීඩෑ උවදුරෙන් වගාවන් බේරා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත. නියඟයෙන් හානි වූ වී වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති පසුබිමක, මෙලෙස කීඩෑ උවදුරෙන් විනාශ වන වගාවන් සඳහාද සාධාරණ වන්දි මුදලක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස සෙම්බුකුලම ගොවි ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














