දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වගා හානි සිදු වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී ගොවීන් 3,489 දෙනෙකු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 300,000ක පොහොර සහනාධාර වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පියවර ගෙන ඇත. ඉදිරි යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෙම ආධාර හිමිවන අතර, ඒ යටතේ ගොවීන්ට අත්‍යවශ්‍ය පොහොර මිලදී ගැනීමට ඩිජිටල් වවුචර (e-vouchers) ලබා දෙනු ලැබේ.
ශ්‍රී ලංකාව තුළ මෙවැනි මාර්ගගත ඩිජිටල් පොහොර වවුචර වැඩසටහනක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වන අතර, වගා බිම් ප්‍රමාණය අනුව එක් ගොවියෙකුට ඩොලර් 75 සිට 90 දක්වා වටිනාකමින් යුත් සහනාධාර හිමි වේ. පොහොර ආධාරයට අමතරව, වී වගාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) පිළිබඳ තාක්ෂණික අත්පොතක් ද ගොවීන්ට නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇත.
















