2026 මැයි 14 වන දින සවස් කාලයේ පන්සියගම පොලිස් වසමේ මඩගල්ල – ඉබ්බාගමුව මාර්ගයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ.
මඩගල්ල – ඉබ්බාගමුව මාර්ගයේ තේබුව හන්දියේ සිට පොන්නිලව දෙසට ධාවනය වූ අතුරු මාර්ගයක කඳුබඩගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. පොන්නිලව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පළමුව මාර්ගයේ ගමන් කළ පදිකයෙකුගේ ගැටී ඇති අතර, පසුව පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදිකරු වහාම පොල්පිතිගම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටි යතුරුපැදිකරු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, මුල්පොත ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පන්සියගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














