රජයේ වාහනයක් පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු ආපදා කළමනාකරණ අමාත්ය ඒ.එච්.එම්. ෆවුසි මහතා අද (24) සිංහල රජයේ පුවත්පතක දැන්වීමක් පළ කරමින් ප්රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.
ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මෙම සමාව ඉල්ලීම සිදුකර ඇත. පසුගිය සැප්තැම්බර් 29 වනදා ලබාදුන් තීන්දුව මඟින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් මිලියන 6.6කට ආසන්න මුදලක් ගෙවීමටත්, සිංහල, දෙමළ සහ ඉංග්රීසි පුවත්පත්වල ප්රසිද්ධ සමාව ඉල්ලීම් පළ කිරීමටත් ෆවුසි මහතාට නියෝග කර තිබිණි.
ශ්රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය විසින් ලබාදුන් වාහනයක් පෞද්ගලික වාසිය සඳහා යොදාගැනීම තුළින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති සමානාත්මතාවය පිළිබඳ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇත.
හිටපු ලංකා වාණිජ මණ්ඩල සභාපති චන්ද්රා ජයරත්න මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබේ.
අදාළ වාහනයේ ඡායාරූපයක් ද සහිතව සිළුමිණ, Sunday Observer සහ තිනකරන් යන රජයේ පුවත්පත්වල අර්ධ පිටු ප්රමාණයේ සමාව ඉල්ලීමේ දැන්වීම් පළ කරන ලෙස ද අධිකරණය නියෝග කර තිබිණි.











