ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Anthropic සමාගම සමඟ වැඩ කිරීම තහනම් කර තිබියදීත්, ඇතැම් ෆෙඩරල් ආයතන සහ රජයේ නිලධාරීන් රහසිගතව එම සමාගමේ උසස් කෘතිම බුද්ධි (AI) මාදිලි පරීක්ෂා කරමින් සිටින බව ‘Politico’ පුවත් සේවය වාර්තා කරයි. විශේෂයෙන්ම වාණිජ දෙපාර්තමේන්තුවේ ‘AI ප්‍රමිති සහ නවෝත්පාදන මධ්‍යස්ථානය’ (Center for AI Standards and Innovation) විසින් Anthropic සමාගමේ නවතම ‘Mythos’ මාදිලියේ හැකර් හැකියාවන් (Hacking prowess) මේ වන විටත් පරීක්ෂාවට ලක් කරමින් සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.
රොයිටර් පුවත් සේවය පවසන පරිදි, මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට Anthropic සමාගම, ධවල මන්දිරය හෝ වාණිජ දෙපාර්තමේන්තුව මෙතෙක් පියවර ගෙන නොමැත. ජනාධිපතිවරයාගේ සෘජු තහනමක් පවතින පසුබිමක රජයේ ආයතන මෙලෙස කටයුතු කිරීම දේශපාලනික සහ ආරක්ෂක වශයෙන් දැඩි කතාබහට ලක්විය හැකි කරුණකි. තාක්ෂණික දියුණුව හමුවේ ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මෙවැනි උසස් AI මාදිලිවල හැකියාවන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බව ඇතැම් නිලධාරීන්ගේ මතය වී තිබේ.














