මෙරට පාසල් දරුවන්ගේ මන්දපෝෂණය පිටුදැකීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහන පවතින උද්ධමනය හමුවේ බරපතල අර්බුදයකට ලක්ව තිබේ. ජාතික ජන බලවේග රජය මගින් හඳුන්වා දුන් මෙම වැඩසටහන යටතේ සිසුන් ලක්ෂ 14කට පමණ නොමිලේ ආහාර වේලක් සපයන නමුත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ආහාර සපයන්නන් එම කටයුතුවලින් ඉවත් වීමේ අවදානමක් මතුව ඇත. විශේෂයෙන්ම දරුවන් විවිධ රෝගාබාධවලින් ආරක්ෂා කරගැනීමේ අරමුණින් ඇරඹි මෙම වැඩසටහන පවත්වාගෙන යාමට වෙළෙඳපොළේ පවතින ඉහළ මිල ගණන් බාධාවක් වී ඇති බව සැපයුම්කරුවෝ පවසති.
ආහාර සපයන්නන් පෙන්වා දෙන්නේ රජය විසින් පෙර පාසල් දරුවකුට රුපියල් 100ක් සහ ඉන් ඉහළ දරුවකුට රුපියල් 110ක් ලෙස ගෙවන මුදලට සමබර පෝෂණීය ආහාර වේලක් ලබා දීම ප්‍රායෝගිකව කළ නොහැකි බවයි. පසුගිය මාසය තුළ පමණක් පරිප්පු, හාල්මැස්සන් වැනි ද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, ඊට අමතරව දෛනිකව සිසුන් පැමිණීමේ ප්‍රතිශතය මත මුදල් කපා හැරීම ද තමන්ට අවාසිදායක බව ඔවුහු පවසති. මෙම ගැටලුවලට පිළියම් ලෙස ගෙවන මුදල ඉහළ දැමීමට බලධාරීන් පියවර නොගතහොත් ආහාර සැපයීමේ කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ආහාර සපයන ව්‍යවසායකත්ව සංවර්ධන සමුපකාර සමිතිය අනතුරු අඟවා සිටියි.














