ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රකට Kennedy Centre for the Performing Arts ගොඩනැගිල්ලට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම එක් කිරීමට ගත් උත්සාහය ෆෙඩරල් අධිකරණයක් විසින් තාවකාලිකව අවහිර කර තිබේ.
ෆෙඩරල් විනිසුරු ක්‍රිස්ටෝෆර් කූපර් නියෝග කර ඇත්තේ Kennedy Centre හි ට්‍රම්ප්ගේ නම හෝ වෙනත් අනුස්මරණ සටහන් ස්ථාපනය කිරීමට පෙර ඇමරිකානු කොංග්‍රසයේ අනුමැතිය අවශ්‍ය බවයි.
Kennedy Centre පාලක මණ්ඩලය පසුගිය අගෝස්තු මාසයේදී ගත් තීරණයකින් ගොඩනැගිල්ලේ මුහුණතෙහි ට්‍රම්ප්ගේ නම ඇතුළත් කිරීමට සැලසුම් කර තිබුණි.
එමඟින් එහි නම **“The John F. Kennedy Centre for the Performing Arts Restored and Renovated By President Donald J. Trump”** ලෙස දැක්වීමට යෝජනා කර තිබූ බව වාර්තා වේ.
එමෙන්ම, Trump Kennedy Centre Fund වෙත ඩොලර් මිලියන 100ක මුදලක් රැස්කර ගැනීමට හැකි වුවහොත්, එම අරමුදලට ගෞරව කිරීම සඳහා තවත් සටහනක් ගොඩනැගිල්ලට එක් කිරීමටද සැලසුම් කර තිබූ බව සඳහන් වේ.
Kennedy Centre ඉදිරිපිට ඇති ප්ලාසා ප්‍රදේශයද ට්‍රම්ප්ට ගෞරව කිරීම සඳහා නම් කිරීමට පාලක මණ්ඩලය යෝජනා කර තිබුණි.
විනිසුරු කූපර් මීට පෙර මැයි මාසයේදී තීන්දු කර තිබුණේ Kennedy Centre හි නාමය වෙනස් කිරීමට හැකියාව ඇත්තේ කොංග්‍රසයට පමණක් බවයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ට සහාය දක්වන පාලක මණ්ඩලය මෙම නව පියවර ගෙන තිබුණේ ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ සඳහා ට්‍රම්ප් ලබාදුන් සහාය ඇගයීමක් ලෙස එය හඳුන්වා දෙමිනි.
නමුත් ඩිමොක්‍රටික් මන්ත්‍රී ජොයිස් බීටි වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පෙන්වා දී ඇත්තේ මෙය පෙර අධිකරණ නියෝගය මගහැර යාමට ගත් උත්සාහයක් බවයි.
ඒ අනුව, Kennedy Centre හි නම සම්බන්ධයෙන් කොංග්‍රසයේ අනුමැතියකින් තොරව සිදුකරන වෙනස්කම් නීතිමය ගැටලුවකට ලක්වන බව අධිකරණය යළිත් අවධාරණය කර තිබේ.














