ඉදිරියේදී පැවැත්වීමට නියමිත ෆිෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අතරතුර එල්ල විය හැකි ඩ්‍රෝන තාක්ෂණික තර්ජන මැඩලීම සඳහා ඇමෙරිකානු ‘නැෂනල් ගාඩ්’ (National Guard) බලකාය යොදවන ලෙස එරට කොංග්‍රස් මණ්ඩල සභිකයින් දෙපළක් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා සිටිති.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ස්වදේශ ආරක්ෂක කමිටුවේ සාමාජිකයින් වන මයිකල් මැකෝල් (Michael McCaul) සහ එලයිජා ක්‍රේන් (Elijah Crane) යන මහත්වරුන් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ ලෝක කුසලාන තරග පැවැත්වෙන ඇමෙරිකානු නගර 11 තුළ ඒකාබද්ධ ෆෙඩරල් ආරක්ෂක වැඩපිළිවෙළක් (Unified Federal Security Posture) තිබීම අත්‍යවශ්‍ය බවයි.
තරග සංවිධායකයින් සහ සත්කාරක නගර අතර පවතින නීතිමය හා බලතල බෙදීම් හේතුවෙන් ආරක්ෂක හිඩැසක් නිර්මාණය විය හැකි බවට ඔවුන් අනතුරු අඟවති. ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමේ පළපුරුද්ද සහ රට පුරා ව්‍යාප්තව පවතින සේනාංක සහිත නැෂනල් ගාඩ් බලකාය, ඩ්‍රෝන මර්දන කටයුතු (Counter-Unmanned Aircraft Systems) සඳහා යෙදවීම වඩාත් ප්‍රායෝගික බව ඔවුන්ගේ අදහසයි.
මෙම ලිපිය ස්වදේශ ආරක්ෂක ලේකම් මාර්ක්වේන් මුලින් (Markwayne Mullin), වැඩබලන නීතිපති ටොඩ් බ්ලාන්ච් (Todd Blanche) සහ පෙන්ටගන ප්‍රධානී පීට් හෙග්සෙත් (Pete Hegseth) වෙත යොමු කර ඇත. මේ වසරේ ගිම්හානයේදී ආරම්භ වන මෙම දැවැන්ත ක්‍රීඩා උළෙල සඳහා ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ගුවන් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බව සභිකයින් අවධාරණය කර සිටිති.














