චීනයේ විශාලතම මෝටර් රථ අපනයනකරු වන චෙරි (Chery) සමාගම, ටොයෝටා සමාගමේ ගුණාත්මකභාවය සහ ටෙස්ලා සමාගමේ නවෝත්පාදන තාක්ෂණය ඒකාබද්ධ කරමින් ලෝක වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙයි. යුරෝපය සහ අනෙකුත් ජාත්‍යන්තර වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම නව උපායමාර්ගය ඔවුන් හඳුන්වන්නේ “Double T” (Toyota plus Tesla) ලෙසයි. ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවර සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමටත්, යුරෝපීය මෝටර් රථ සමාගම් සමඟ නිෂ්පාදන පහසුකම් බෙදා ගැනීමටත් තමන් සූදානම් බව චෙරි සමාගමේ සභාපති යින් ටොංග්යූ ප්‍රකාශ කර තිබේ.
පසුගිය වසරේ පමණක් රථවාහන මිලියන 2.8ක් අලෙවි කර ඇති චෙරි සමාගම, 2020 සිට 2025 දක්වා කාලය තුළ සිය ගෝලීය අලෙවිය සිව් ගුණයකින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇත. ඔවුන්ගේ නවතම සන්නාමයන් වන Omoda සහ Jaecoo හරහා 2027 වන විට වාහන මිලියනයක් අලෙවි කිරීම ඔවුන්ගේ ඉලක්කයයි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය වැනි රටවල Jaecoo 7 SUV රථය ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇති අතර, යුරෝපීය පාරිභෝගිකයින්ගේ රුචිකත්වය මත කුඩා මෝටර් රථ මාදිලි නිෂ්පාදනයට ද ඔවුන් මේ වන විට අවධානය යොමු කර තිබේ. චීන මෝටර් රථ ක්ෂේත්‍රය තුළ පවතින දැඩි තරගකාරීත්වය හමුවේ ඉදිරි වසර කිහිපය තුළ සෞඛ්‍ය සම්පන්නව පැවතිය හැක්කේ සන්නාම කිහිපයකට පමණක් බව පවසන චෙරි සභාපතිවරයා, සිය සමාගම ලෝකයේ ප්‍රමුඛතම තැනකට රැගෙන ඒමට දැඩි විශ්වාසයකින් පසුවෙයි.














