2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා එක් අසුනක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 10,990ක ($10,990) වාර්තාගත මුදලක් අය කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර තිබේ. මෙය ලෝක පාපන්දු ඉතිහාසයේ සාමාන්‍ය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නිල වශයෙන් නිකුත් කෙරුණු ඉහළම මිල සහිත ප්‍රවේශ පත්‍රය (Ticket) ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවර ලෝක කුසලානයේ සම සත්කාරකත්වය දරන අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව විසින් තරගාවලියට පෙර ඉදිරිපත් කළ මුල් සැලසුම් ලේඛනවල සඳහන් වූයේ අවසන් තරගයේ ඉහළම ප්‍රවේශ පත්‍ර මිල ඩොලර් 1,550ක් පමණ වනු ඇති බවයි. කෙසේ වෙතත්, පසුගිය දෙසැම්බර් මාසයේ නිල රසික සමාජ සාමාජිකයින් (Official Fan Club) සඳහා ආරම්භ කළ පළමු අලෙවි අදියරේදී ඉහළම ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 8,680ක් ලෙස සටහන් වූ අතර, පසුගිය බදාදා ආරම්භ වූ අවසන් අලෙවි අදියරේදී එය ඩොලර් 10,990 සීමාව දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇත.
පෙර පැවැති තරගාවලි සමඟ සැසඳීමේදී මෙය අතිදැවැන්ත මිල ඉහළ යෑමකි. පසුගිය 2022 කටාර් FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේ ඉහළම මිල සහිත ප්‍රවේශ පත්‍රයක් සඳහා අය කෙරුණේ ඇමෙරිකානු ඩොලර් 1,604ක් පමණි. ඒ අනුව 2022 වසරට වඩා මෙවර මිල හය ගුණයකට වඩා වැඩි වී තිබේ.
කෙසේ වෙතත්, සාමාන්‍ය රසිකයින් වෙනුවෙන් ඉතා සීමිත ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවක් ඇමෙරිකානු ඩොලර් 60ක අවම මිලකට ලබාදීමට ද FIFA සංවිධායකයින් මීට පෙර නිවේදනය කර තිබුණි. මෙම අසාමාන්‍ය මිල ඉහළ යාම හේතුවෙන් ලොව පුරා පාපන්දු රසිකයින් අතර දැඩි කතාබහක් සහ විවිධ ප්‍රතිචාර මතුව ඇති අතර, ඇතැම් ක්‍රීඩා විචාරකයින් සහ රසික පිරිස් පෙන්වා දෙන්නේ මෙය සාමාන්‍ය ප්‍රේක්ෂකයින්ට දැරිය නොහැකි බරපතළ ආර්ථික බරක් මෙන්ම අසාධාරණ ක්‍රියාවක් බවයි.
















