මෙරට රෝහල් රැසක පිළිකා රෝගීන් සඳහා ලබාදෙන කිමෝ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇත්තේ ෆිල්ගැස්ට්‍රීන් නමැති අත්‍යවශ්‍ය එන්නත හිඟවීම හේතුවෙනි. ආනයනය කරන ලද එන්නත් තොගයේ අඩංගු ලේබලයට අදාළව මතුව ඇති තාක්ෂණික ගැටලුවක් මුල් කරගනිමින්, එම එන්නත් රෝගීන් අතර බෙදාහැරීම අත්හිටුවීම මෙම දැඩි අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිල ටෙන්ඩර් පටිපාටිය ඔස්සේ චීනයෙන් නිෂ්පාදනය කරන ලද මෙම එන්නත් මාත්‍රා එක්ලක්ෂ හැටදහසක් මෙරටට ගෙන්වා ඇති අතර, නිෂ්පාදක සමාගම ඉදිරිපත් කළ ලේබලය ආරම්භයේදී එම සංස්ථාව විසින් අනුමත කර තිබුණි. කෙසේ වෙතත් එන්නත් සාම්පල වෛද්‍ය සැපයුම් අංශයේ අනුමැතිය සඳහා යොමු කළ අවස්ථාවේදී, එහි ලේබලයේ දෝෂයක් පවතින බවට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරනු ලැබීය.
මෙම ඖෂධයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බැවින්, ලේබලයේ ඇති ප්රශ්නය පිළිබඳ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස අදාළ ආනයන සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. එසේ වුවද, අදාළ එන්නත් තොගය නැවත චීනයට යවා නිවැරදි ලේබල් අලවා යළි ගෙන්වා ගත යුතු බවට ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කර ඇති අතර, ඒ සඳහා මාස දෙකහමාරක පමණ කාලයක් ගතවනු ඇත.
මෙම ලේබල් අර්බුදය හේතුවෙන් රජයේ රෝහල්වලින් එන්නත නොලැබීම නිසා පිළිකා රෝගීන්ට පෞද්ගලික වෙළෙඳපොළෙන් හෝ විවිධ ක්‍රමවේද ඔස්සේ මෙරටට ගෙන්වන ලද එන්නතක් වෙනුවෙන් රුපියල් 23,000ක පමණ අධික මුදලක් වැය කිරීමට සිදුව තිබේ. මෙලෙස අධික මිලකට ඖෂධ මිලදී ගැනීමට වත්කමක් නැති අසරණ රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු තාවකාලිකව නතර වී ඇති අතර, එය බරපතළ තත්ත්වයක් බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.














