27 April 2024
#දේශීය

පොදු ප්‍රවාහනය ගැන අවසන් තීරණය ජනපති අතර සාකච්ඡාවෙන් පසුවයි – ඇමැති අමරවීර කියයි

පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සම්බන්ධව අවසාන තීරණය හෙට (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හෙට සිට (08) පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිනි.

එහෙත් පොදු ප්‍රවාහන සේවා සැපයීමේ දී විශේෂයෙන් අන්තර් පළාත් බස් රථ ධාවනයේ දී සෞඛ්‍ය අංශවල උපදෙස් මත පසුගිය සිකුරාදා (05) ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව ක්‍රියාත්මක කිරීමට සිදු ව තිබේ. එහි සඳහන් කර තිබෙන්නේ කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ‌පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ යුතු බවයි.

හෙට දින ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පරිදි ඉදිරි පොදු ප්‍රවාහණ සේවාවන් සැලසුම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටී.

පොදු ප්‍රවාහනයේ දී සෞඛ්‍ය අංශ උපදෙස් මත ආසන ගණනට පමණක් මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ දී දැනට ලංගම හා පුද්ගලික අංශය සතුව තිබෙන බස් රථ ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. ඒ සඳහා විකල්පයක් ලෙස සංචාරක සේවා මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ, මගී ප්‍රවාහණය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇත.

එහෙත් ඒවා මගී ප්‍රවාහන සේවාවන් සඳහා පුද්ගලික බස් රථවලට හානියක් නොවන පරිදි අවශ්‍යවුවහොත් පමණක් යොදා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට වැඩිදුරටත් උපදෙස් දි තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *