ආනයනය කරනු ලබන වාහන සඳහා පවතින රේගු ආනයන බදු මත අතිරේක 50%ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයකට අනුව මෙම නව බදු සංශෝධනය අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලසීමාවක් සඳහා බලපැවැත්වේ.
මෙම තීරණය අනුව, මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්දට අමතරව, එම බදු මුදල මත තවත් 50%ක අතිරේක බද්දක් අය කෙරෙනු ඇත. කෙසේ වෙතත්, මැයි 15 වැනිදා හෝ ඊට පෙර ණයවර ලිපි (LC) විවෘත කර ඇති වාහන සඳහා මෙම නව බද්ද බලනොපාන බව රජය අවධාරණය කරයි. දේශීය විදේශ විනිමය සංචිත කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.














