මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මුදල් කමිටුව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔහුට එරෙහිව දඬුවම් පැමිණවීමට කමිටු සභාපති හර්ෂ ද සිල්වාට බලය ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව ඕනෑම පුද්ගලයෙකු කමිටුව හමුවට කැඳවීමට සභාපතිවරයාට පූර්ණ අයිතියක් පවතින බවත්, එම කැඳවීම පැහැර හැරීම බරපතළ වරදක් බවත් ඔහු පෙන්වා දෙයි.
මෙලෙස කමිටුව හමුවට නොපැමිණෙන පුද්ගලයින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර දෙකක් නොඉක්මවන සිරදඬුවම් හෝ දඩයක් නියම කිරීමට ප්‍රතිපාදන පවතින බව එම නිවේදනයේ සඳහන් වේ. ඉතිහාසයේ කිසිදු රජයක් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ වගකීම සහ කමිටු සතු බලය මෙලෙස හෑල්ලුවට ලක් කර නොමැති බව පවසන තෙන්නකෝන් මහතා, ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය නිසා දූෂණයට එරෙහිව ඔවුන් දක්වන අදහස්වල සුජාතභාවය අහිමි වන බව ද අවධාරණය කරයි. මේ මොහොතේ පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගැනීම සඳහා කමිටු සභාපතිවරයා නිසි පියවර ගත යුතු බව ද එහි වැඩිදුරටත් දැක්වේ.














