මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදී පුපුරුවා හරින ලද ගිනිකෙළි සහ රතිඤ්ඤා හේතුවෙන් බළලුන් සහ සුනඛයන් 10,000කට අධික පිරිසකගේ ශ්‍රවණාබාධ ඇතිවී ඇති බවත් ඔවුන් දැඩි ලෙස අතරමංවී ඇති බවත් පශු වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. උත්සව සිරිය මධ්‍යයේ සතුන් මුහුණ දෙන මෙම බරපතල අර්බුදය පිළිබඳව බලධාරීන්ගේ සහ මහජනතාවගේ අවධානය ප්‍රමාණවත් තරම් යොමු නොවීම කණගාටුදායක තත්ත්වයක් බව සත්ව ගහනය මානුෂීය ලෙස කළමනාකරණය කිරීමේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා සඳහන් කළේ, මිනිසාට වඩා ඉතා සංවේදී ශ්‍රවණ පරාසයක් සතුන්ට පවතින බවයි. සාමාන්‍යයෙන් රතිඤ්ඤා හඬ ඩෙසිබල් 120ත් 175ත් අතර පවතින අතර, එය ඩෙසිබල් 140 ඉක්මවා යාම සතුන්ගේ ඇතුළු කනට හානි කරමින් ස්ථිර ශ්‍රවණාබාධ ඇති කිරීමට සමත් වේ. ශාරීරික හානියට අමතරව, මෙම හදිසි ශබ්ද හමුවේ ඇතිවන දැඩි භීතිය නිසා සතුන් හිස් ලූ ලූ අත දිව යාමෙන් අතරමං වන බවත්, බොහෝ සතුන් රිය අනතුරුවලට ලක්ව මියයන බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
මෙම බලපෑම නිවෙස්වල වෙසෙන සුරතල් සතුන්ට පමණක් නොව පක්ෂීන්ට ද දැඩි ලෙස බලපා ඇත. අධික ශබ්ද තරංග හේතුවෙන් පක්ෂීන්ගේ බිත්තර පවා පුපුරා යාමේ අවදානමක් පවතින අතර, බිහිරි වන පක්ෂීන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට නොහැකිව පහසුවෙන් ගොදුරු බවට පත්වන බව ද පශු වෛද්‍යවරු පෙන්වා දෙති. උත්සව සැමරීම තවත් ජීවියෙකුගේ වේදනාව මත පදනම් නොවිය යුතු බවත්, මේ පිළිබඳව දැඩි නීති රීති පැනවීමට කාලය එළඹ ඇති බවත් සත්ව සුභසාධන ක්‍රියාකාරීහු අවධාරණය කරති.














