ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් Hatch ආයතනය සහ First Capital Holdings PLC සමාගම එක්ව ‘First Capital Startup Nation by Hatch’ 2026 වැඩසටහන ආරම්භ කර තිබේ. පසුගිය වසරේ ලද සාර්ථකත්වය මත පදනම්ව මෙවර මෙම වැඩසටහන ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවී දකුණු ආසියානු කලාපීය මට්ටමින් පුළුල් කර ඇති අතර, ඒ සඳහා මේ වන විටත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශය යන රටවලින් අයදුම්පත් 250කට අධික ප්‍රමාණයක් ලැබී ඇත.
මෙම වැඩසටහන මගින් ආරම්භක ව්‍යාපාර සඳහා උපායමාර්ගික මඟපෙන්වීම්, ආයෝජන අවස්ථා සහ ඇමෙරිකානු ඩොලර් මිලියනයක් දක්වා වූ අරමුදල් ලබාගැනීමේ හැකියාව හිමිවේ. ව්‍යවසායකයින්, ආයෝජකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එකම වේදිකාවකට ගෙන එමින් කලාපීය සහයෝගීතාව සහ දැනුම හුවමාරු කර ගැනීම මෙහි මූලික අරමුණයි. ඉන්දියාවේ Founder Startup House, නේපාලයේ Pool Technologies සහ බංග්ලාදේශයේ Turtle Venture වැනි කලාපීය හවුල්කරුවන්ගේ දායකත්වය ද මෙම වැඩසටහනට එක්ව ඇත.
ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ආයෝජන උපදේශන ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත First Capital සමාගම සහ මෙරට විශාලතම ව්‍යවසායකත්ව පරිසර පද්ධතිය ක්‍රියාත්මක කරන Hatch ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ආර්ථිකය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට අපේක්ෂා කරයි. මෙම වැඩසටහන හරහා නවක ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාරික අදහස් කලාපීය සහ ගෝලීය විභවයක් සහිත මහා පරිමාණ ව්‍යාපාර බවට පරිවර්‌තනය කර ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්‌මාණය කෙරේ.
















