මෙරට ගල් අඟුරු ආනයනය සහ විදුලි උත්පාදන ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කළ පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද (07) පළමු පැමිණිල්ල ගොනු කෙරිණි. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පිහිටි එම කොමිසම වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.
2009 වසරේ ගල් අඟුරු ආනයන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නීති උල්ලංඝනය කරමින් බරපතළ වංචාවක් සිදුව ඇති බවට ඔහු සිය පැමිණිල්ල මඟින් පෙන්වා දී ඇත. නොරොච්චෝලේ බලාගාරය සඳහා ඉන්දීය සමාගමක් හරහා ආනයනය කළ ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර වීම සහ 2025-2026 කාලසීමාවේ සිදුවූ බව කියන ප්‍රසම්පාදන දෝෂ පිළිබඳ විශේෂ විගණන වාර්තාවලින් හෙළි වූ කරුණු ද මෙම විමර්ශනයට පදනම් වී තිබේ. විශේෂයෙන්ම නිසි ලියාපදිංචියක් නොමැති සහ බලපත්‍ර අවලංගු වූ සමාගම්වලට කොන්ත්‍රාත් පිරිනැමීම සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමු වනු ඇත.














