පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සිට බේරුවල දක්වා කුඩා යාත්‍රා මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දිවයිනට බස්නාහිර දෙසින් ඇති වී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය සහ සුළඟේ වේගය ඉහළ යාම නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ සහ කළුතර ඇතුළු බේරුවල දක්වා වන මුහුදු ප්‍රදේශවල වෙරළාසන්නව රැකියාවේ නිරත වන කුඩා සහ එක්දින ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු රැකියාව සඳහා මුහුදු යාමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ.විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉතා ඉහළ අගයකට පත් විය හැකි අතර, ඒ සමඟ මුහුදු රළ ඉහළ යාම කුඩා යාත්‍රාවලට දැඩි තර්ජනයක් විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය. මේ වන විටත් මුහුදු ගොස් සිටින කුඩා සහ එක්දින ධීවර යාත්‍රා ඇත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ගොඩබිම වෙත පැමිණෙන ලෙසද උපදෙස් ලබා දී ඇත.














