යාපනය හින්දු විද්‍යාලය අසලදී තරුණයෙකු පැහැරගෙන ගොස්, නිරුවත් කර අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමේ සිද්ධියකට සම්බන්ධ පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් තියුණු කඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 5 වනදා මෙම පිරිස විසින් තරුණයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රහසිගත ස්ථානයකදී ඇඳුම් ගලවා දරුණු ලෙස වධහිංසා පමුණුවා ඇත. පසුව බරපතළ තුවාල ලැබූ තරුණයා යාපනය බොස්කෝ පාසල අසල දමා ඔවුන් පළාගොස් ඇති අතර, බුද්ධි තොරතුරු මත පොලීසිය තුවාල ලැබූ තරුණයා සොයාගෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළේය.
පසුව මාර්ගයේ රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් සැකකටයුතු ලෙස ධාවනය වූ මෝටර් රථයක් ලුහුබැඳ ගොස් වටලා අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මෙම මෝටර් රථය යාපනයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගමකට අයත් එකක් බවට පොලීසිය සැක පළ කරයි.
සැකකරුවන් සන්තකයේ තිබී කඩු දෙකක්, මෝටර් රථයේ තිබූ ලේ පැල්ලම් සහිත ඇඳුමක් සහ ග්‍රෑම් 2.5ක අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය අපරාධ වැළැක්වීමේ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















