27 April 2024
#සංවර්ධන

නිවාස ව්‍යාපෘති පහක් ඉදිරි වසර තුන තුලදී ක්‍රියාත්මක කරනවා – ඇමැති ප්‍රසන්න

මධ්‍යම පන්තිකයන් වෙනුවෙන් රුපියල් බිලියන 25ක වටිනාමකින් යුතු නිවාස ව්‍යාපෘති පහක් ඉදිරි වසර තුන තුලදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 866න් සමන්විත වන අතර වැලිසර, නිට්ටඹුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, අතුරුගිරිය, කඩුවෙල ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම නිවාස ව්‍යාපෘති ඉදිකරනු ලබයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මෙම නිවාස ව්‍යාපෘති පහ අතරින් නිට්ටඹුව හා වැලිසර නිවාස ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් කටයුතු මෙම වසර ඇතුළදී ආරම්භ කරන බවයි.

නිට්ටඹුව නිවාස ව්‍යාපෘතිය කාමර තුනකින් යුතු දෙමහල් නිවාස 100න් සහ කාමර දෙකෙහි නිවාස 30න් සමන්විත වේ. එමෙන්ම වැලිසර නිවාස ව්‍යාපෘතිය නිවාස 408න් සමන්විත වේ. එය කාමර දෙකෙහි නිවාස 204න් සහ කාමර තුනෙහි නිවාස 204න් සමන්විත වේ.

ජයවර්ධනපුර කෝට්ටේ නිවාස සංකීර්ණය නිවාස 160න් සමන්විත වන අතර කාමර දෙකෙහි නිවාස 84න් හා කාමර තුනෙහි නිවාස 72න් හා අධිසුඛෝපභෝගී නිවාස 4න් එම නිවාස සංකීර්ණයට අන්තර්ගත වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

එමෙන්ම අතුරුගිරිය නිවාස සංකීර්ණය නිවාස ඒකක 60න් සමන්විත වන අතර එම නිවාස කාමර දෙකකින් සමන්විතවේ. කඩුවෙල නිවාස ව්‍යාපෘතිය නිවාස 108න් සමන්විත වන අතර එයද කාමර දෙකකින් සමන්විතය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම නිවාස ව්‍යාපෘති තුන ඉදිකිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.

නිට්ටඹුව නිවාස ව්‍යාපෘතිය ගම්මාන සංඛල්පය යටතේ ඉදිකෙරෙන විශේෂ ව්‍යාපෘතියකි. එය රටේ සංවර්ධනය වෙනුවෙන් දායකවූ රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ පුරවැසියන් වෙනුවෙන් වෙන් කෙරෙන බවද අමාත්‍යවරයා පවසයි.

දිවයින පුරා විසිරී සිටින නිවාස නොමැති නාගරික අඩුපහසුකම් ජනතාව වෙනුවෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් 2009 වසරේ සිට මේ දක්වා නිවාස1713ක් ලබාදී ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම නිවාස සහනදායි දීර්ඝ වාරික ක්‍රමවේදයක් යටතේ ලබාදී ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *