අද (19) උදෑසන අඹේවෙල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියකින් ඇද වැටීමෙන් විදේශීය කාන්තා සංචාරකයෙකු තුවාල ලබා නුවරඑළිය රෝහල වෙත ඇතුළත් කර තිබේ. නානුඔය සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන් කරමින් සිටියදී ඇය මෙම අනතුරට ලක්ව ඇති බව දුම්රිය සහ රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
අදාළ විදේශීය කාන්තාව දුම්රියෙන් ගමන් ගන්නා අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අනතුරින් තුවාල ලැබූ ඇය වහාම ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
මනරම් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් සහ සංචාරකයින් ධාවනය වන දුම්රියන්ගෙන් පිටතට එබීම හෝ අනාරක්ෂිත ලෙස ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම වැනි ක්‍රියාවලින් වළකින ලෙස දුම්රිය බලධාරීන් දිගින් දිගටම අවවාද කර ඇත. මෙවැනි නොසැලකිලිමත් ක්‍රියා හේතුවෙන් මාරාන්තික අනතුරු සිදුවීමේ දැඩි අවදානමක් පවතින බැවින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
















