චීනයේ හිටපු අගමැති ජූ රොංජි (Zhu Rongji) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 98 වන වියෙහි පසු විය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (අගෝස්තු 12) බෙයිජිං නුවරදී අභාවප්‍රාප්ත වූ ඔහු, චීන කොමියුනිස්ට් පක්ෂයේ 14 වන සහ 15 වන මධ්‍යම කාරක සභාවල දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පක්ෂ සාමාජිකයෙකු මෙන්ම අඛණ්ඩව පක්ෂපාතී කොමියුනිස්ට් සටන්කාමියෙකු ලෙස ඔහු කැපීපෙනෙන සේවයක් සිදු කර තිබේ. එමෙන්ම, කම්කරු පන්තියේ සහ ශ්‍රමික ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි විප්ලවාදීයෙකු වූ හිටපු අගමැතිවරයා, විශිෂ්ට රාජ්‍ය නායකයෙකු මෙන්ම පක්ෂයේ සහ රජයේ ප්‍රධාන පෙළේ නායකයෙකු ලෙස නොමඳ ගෞරවයට පාත්‍ර වන බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, චීන රාජ්‍ය මණ්ඩලය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
















