හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 3 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
නඩුව අද (5) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබේ. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 3 වැනිදා සිදු කිරීමට නියම කර ඇති බව වාර්තා වේ.
කුමාර ජයකොඩි මහතාට එරෙහිව CIABOC විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ 2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ අවස්ථාවේදී පෞද්ගලික සමාගමකට වාසි වන ආකාරයෙන් ප්‍රසම්පාදන කටයුතු සිදු කර රජයට රුපියල් මිලියන 8.8කට වැඩි අලාභයක් සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනි. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය තවදුරටත් පැවැත්වෙමින් පවතී.
















