ලොව පුරා බෙදීම්, ගැටුම් සහ ආතතීන් ඉහළ යමින් පවතින පසුබිමක මහත්මා ගාන්ධි පෙන්වා දුන් සාමය, සංවාදය සහ අවිහිංසාවේ මූලධර්ම අනුගමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ.
ඔක්තෝබර් 2 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර අවිහිංසා දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයකදී ගුටරෙස් සඳහන් කර ඇත්තේ, අසාධාරණයට එරෙහිව කටයුතු කිරීමේදී ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිචාර දැක්වීම වෙනුවට සංවාදය සහ අවිහිංසාව යොදාගෙන අවබෝධය ගොඩනැගීම, මිනිස් ගෞරවය ආරක්ෂා කිරීම සහ ස්ථිර වෙනසක් ඇති කළ යුතු බවයි.
“මිනිසුන් පීඩාවට පත්වෙමින් සිටිනවා” යනුවෙන් සඳහන් කර ඇති ගුටරෙස්, දරිද්‍රතාව සහ අසමානතාව හේතුවෙන් සමාජයේ ඇති සහ නැති පාර්ශ්ව අතර පරතරය පුළුල් වෙමින් පවතින බවද පෙන්වා දී තිබේ. එමෙන්ම සාමය සහ සංවර්ධනයේ පදනම් වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, මානව හිමිකම්, ජාත්‍යන්තර නීතිය, රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ සංවාදය නොසලකා හැරීම පිළිබඳවද ඔහු අවධානය යොමු කර ඇත.
















