හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පොලිස් ගෞරව සහිතව සිදුකිරීමට තීරණය කර ඇත. දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, දේහය දැනට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත. අද පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එහි පැමිණියහ.
මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී, වෙඩි වැදී ඇති ආකාරය පිළිබඳ විශේෂඥ වාර්තාවක් කැඳවීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, සිරුරේ කොටස් සහ සිද්ධියට අදාළ පිස්තෝලය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ. අධිකරණ නියෝග ලබාගැනීමෙන් අනතුරුව ඔහුගේ ජංගම දුරකතනයද ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය. දැනටමත් මියගිය අයගේ බිරිඳගෙන් සහ ඔහුගේ ආරක්ෂාව සඳහා සිටි නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය සහ මාලඹේ පොලිසිය ඒකාබද්ධව මෙම විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි. පසුගිය 16 වැනිදා උදෑසන තලාහේනේ පිහිටි සිය නිවසේදී 63 හැවිරිදි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙඩි වැදීමකින් මියගියේය. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විමර්ශන අංශ විසින් පුළුල් පරීක්ෂණයක් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත.














