හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ හදිසි මරණය සියදිවි නසාගැනීමක් විය නොහැකි බවත්, එය ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගිනිඅවිය අහඹු ලෙස ක්‍රියාත්මක වීමෙන් සිදුවූ අනතුරක් විය හැකි බවත් පවුලේ ඥාතීන් පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘සන්ඩේ අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කරන කරුණු අනුව, සිදුවීම වූ අවස්ථාවේදී වික්‍රමරත්න මහතා සිය බිරිඳ සමඟ උදෑසන ඇවිදීමට යාමට සූදානම් වෙමින් නිවසේ ආලින්දයේ රැඳී සිට ඇත. සිය ආරක්ෂක නිලධාරියා සතුව තිබූ නව ගිනිඅවිය පරීක්ෂා කිරීමට ඔහු ඉල්ලා ඇති අතර, පතරොම් ගැබ නොමැති බව දැක ඒ පිළිබඳව ඔහු නිලධාරියා සමඟ විමසා තිබේ. අනතුරුව ආරක්ෂක නිලධාරියා පතරොම් සහිත ගැබ ලබා දී, වික්‍රමරත්න මහතා ඉල්ලා සිටි පැන් බෝතලයක් රැගෙන ඒමට නිවස තුළට ගිය අවස්ථාවේදී වෙඩි වැදීම සිදුව ඇති බව මූලික තොරතුරු අනාවරණය කරයි.
නිවස තුළ සිටි ඔහුගේ බිරිඳට වෙඩි හඬ ඇසී පැමිණ බලන විට වික්‍රමරත්න මහතා ආලින්දයේ වැටී සිටිනු දැක ඇත. ඔහු කිසිදු මානසික පීඩනයකින් පසු නොවූ බවත්, මරණයට දින කිහිපයකට පෙර ආදි ශිෂ්‍ය හමුවකට සහ මිතුරන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වී ඇති බවත් ඔහුගේ සමීපතම ආරංචි මාර්ග තහවුරු කරයි.
ඔහු සියදිවි නසා ගැනීමට කිසිදු හේතුවක් නොමැති බවත්, පිටස්තර පුද්ගලයෙකු විසින් වෙඩි තැබූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඥාතීන් සහ මිතුරන් අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොලිස් සේවයේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස 2020 නොවැම්බර් මස පත්වූ චන්දන වික්‍රමරත්න මහතා 2023 වසරේදී විශ්‍රාම ලැබීය. 1986 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු, අත්දැකීම් බහුල නිලධාරියෙකි. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වන තෙක් පොලිසිය බලාපොරොත්තුවෙන් සිටියි.














