මෙරට උපරිමාධිකරණ (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බව හිටපු අධිකරණ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යයන වාර්තාවක් මඟින් පෙන්වා දෙයි. ජීවිත අපේක්ෂාව ඉහළ යාම වැනි කරුණු මත රජය මෙම පියවර සාධාරණීකරණය කළ ද, මෙවැනි සංශෝධන සිදුකළ යුත්තේ අතීතයට නොව අනාගතයට බලපාන පරිදි බව ඔහු අවධාරණය කරයි. මේ වසරේ මුලදී විශ්‍රාම ගිය විනිසුරුවරුන් තිදෙනෙකුට මෙයින් ප්‍රතිලාභ අහිමි වීම නිසා, මෙය විනිසුරුවරුන් කොටසකට පමණක් දෙන මුදල් පරිත්‍යාගයක් බඳු යැයි ද, මැතිවරණ ක්‍රම සංශෝධන වැනි ප්‍රමුඛ කාර්යයන් තිබියදී ජාතික ජනබලවේග ආණ්ඩුව මෙයට මුල්තැන දීමෙන් අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ජනතා විශ්වාසය පළුදු වන බව ද ඔහු පවසයි.
මේ අතර, මහෙස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය ද මෙම විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට සිය එකඟතාව පළ නොකරන බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. ඉකුත් සෙනසුරාදා පැවැති විධායක කමිටු රැස්වීමේ රහස් ඡන්දයකින් මේ සඳහා ඒකමතික තීරණයකට එළැඹ ඇති අතර, සංගමයේ වැඩබලන සභාපති චාමර වික්‍රමනායක සහ ලේකම් සුරංග මුණසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතු එම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරිය, කතානායකවරයා ඇතුළු බලධාරීන් වෙත ද යොමු කර ඇත.














