කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 600කට අධික වත්කම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව අගෝස්තු 20 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
අධිචෝදනා පත්‍රයට අනුව අනාවරණය වී ඇති ප්‍රධාන කරුණු වන්නේ 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා දෙවසරක කාලය තුළ නීත්‍යනුකූල ආදායම්වලින් සනාථ කළ නොහැකි රුපියල් මිලියන 485ක දැවැන්ත ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවයි. පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පමණක් ස්ථාවර තැන්පතු 10ක එකතුව රුපියල් මිලියන 182.3ක් (රුපියල් කෝටි 18.23ක්) ඉක්මවන අතර, ඉන් එක් තැන්පතුවක් පමණක් රුපියල් කෝටි 6කි. මීට අමතරව පවුලේ සාමාජිකයන් සමඟ විවිධ මූල්‍ය ආයතනවල බද්ධ සහ තනි තැන්පතු පවත්වා ඇත. කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් මිලියන 71.3ක ඉඩමක්, රාජගිරිය නාවල පාරෙන් රුපියල් මිලියන 39.2ක ඉඩමක් සහ කඩවත දලුපිටියෙන් රුපියල් මිලියන 13ක ඉඩමක් මිලදී ගෙන ඇති අතර, අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙකක කෙටි කාලය තුළ Porsche, Range Rover Sport Petrol V8 (රුපියල් මිලියන 28.8ක්), Mercedes Benz (රුපියල් මිලියන 32.3ක්) ඇතුළු සුඛෝපභෝගී වාහන 7ක් මිලදී ගෙන තිබේ.














