පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම සහ එහි සිදුවන විවිධ පරිපාලන අක්‍රමිකතා සම්බන්ධයෙන් වහා මැදිහත් වන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. මෙම ලිපිය හරහා පාර්ලිමේන්තු පරිපාලනය තුළ මතුව ඇති බරපතල අර්බුද හතරක් පෙන්වා දී ඇති අතර ඉන් ප්‍රධාන වශයෙන් නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කිරීම නීති විරෝධී සහ ද්වේශ සහගත ක්‍රියාවක් බව අවධාරණය කර ඇත.
හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සදාචාර විරෝධී ලෙස අහෝසි කිරීම සහ පාර්ලිමේන්තු නිලධාරිනියකට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරුවරියක ලබාදුන් විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම වැනි කරුණු ද මෙහිදී මහා නායක හිමිවරුන්ගේ අවධානයට යොමු කර තිබේ. පාර්ලිමේන්තුවේ ආයතනික ස්වාධීනත්වය සහ පරිපාලන සාධාරණත්වය බරපතල ලෙස අඩපණ වී ඇති බව පවසන සංසදය, පවතින තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති දැවැන්ත තර්ජනයක් ලෙස හඳුන්වා දී ඇත.
මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදය මේ වන විටත් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වෙත ද ලිඛිතව පැමිණිලි කර තිබේ. පාර්ලිමේන්තුව තුළ ආරක්ෂිත සහ වෘත්තීය මට්ටමේ වැඩ පරිසරයක් සහතික කිරීමට බලධාරීන් අසමත් වීම ගැන ද මහ නාහිමිවරුන් වෙත යොමු කළ ලිපිය මඟින් වැඩිදුරටත් කරුණු අනාවරණය කර ඇත.













