විශ්‍රාම වැටුප් අහිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට (50) පමණ තමන් ලබාගෙන ඇති බැංකු ණය වාරික ගෙවන ලෙස දැනුම් දෙමින් බැංකු මගින් රතු නිවේදන නිකුත් කර තිබේ. විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කරන්නේ අදාළ ණය වාරික දින හතක් ඇතුළත නොගෙව්වහොත් නඩු පවරන බවට බැංකු විසින් දැනුම් දී ඇති බවයි.
මෙම රතු නිවේදන ලැබී ඇති මන්ත්‍රීවරුන් අතර සමන්සිරි හේරත්, එස්. කේ. සුභසිංහ සහ පද්ම උදය ශාන්ත ගුණසේකර ඇතුළු පිරිසක් සිටින බව වාර්තා වේ. මොවුන් සියලු දෙනා බැංකු ණය ලබාගෙන ඇත්තේ තමන්ට හිමිවන මන්ත්‍රී විශ්‍රාම වැටුපෙන් වාරික පියවීමේ පදනම මතය. එහෙත් වත්මන් රජය විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමත් සමඟ ණය වාරික ගෙවීමට වෙනත් ආදායම් මාර්ග නොමැතිව මොවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.
තමන් මුහුණ දී ඇති මෙම මූල්‍ය දුෂ්කරතාවය පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත සහනයක් ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ එවැනි සහනයක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අත්‍යවශ්‍ය වන බවයි.














