වොෂින්ටන්හි පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ (White House Correspondents’ Association) වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති තෙයිප් එර්ඩොගන් මහතා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත සිය සහයෝගය පළ කර තිබේ. ඊයේ (26) රාත්‍රියේ දෙරටේ නායකයන් අතර පැවැති දුරකථන සංවාදයකදී තුර්කි ජනාධිපතිවරයා මෙම සහයෝගය පළ කළ බව තුර්කි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
මෙම වෙඩි තැබීමේ සිදුවීම “ප්‍රජාතන්ත්‍රවාදයට සහ මාධ්‍ය නිදහසට එරෙහිව එල්ල වූ ඉතා පිළිකුල් සහගත ක්‍රියාවක්” ලෙස තමන් දකින බව එර්ඩොගන් මහතා මෙහිදී සඳහන් කර තිබේ. එසේම අනතුරින් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමට ද ඔහු අමතක කළේ නැත.
පසුගිය අප්‍රේල් 25 වන දින වොෂින්ටන් හිල්ටන් හෝටලයේදී මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්විණි. එහිදී 31 හැවිරිදි කැලිෆෝනියා පදිංචිකරුවෙකු වන කෝල් තෝමස් ඇලන් (Cole Tomas Allen) නම් සැකකරු ආරක්ෂක වැටවල් බිඳගෙන වෙඩි තැබීමක් සිදු කර ඇති අතර, එම අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප්, ආර්යාව සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් වහාම ආරක්ෂිතව ඉවත් කිරීමට රහස් පොලිස් අංශ (Secret Service) කටයුතු කර තිබේ.
අනතුරින් එක් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර, සැකකරු මේ වන විට අත්අඩංගුවේ පසුවෙයි. සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන පවත්වන අතර ලෝක නායකයන් රැසක් මෙම ප්‍රහාරය හෙළා දකිමින් සිටියි.














